Monday, February 4, 2013

ජාතික කොඩියේ පණිවුඩය සහ එහි වැදගත්කම


ජාතික කොඩියට ගරු කරන්න. ඉන් ඔබ ඔද වැඩී යනු ඇත. ජාතික කොඩියෙන් ද්වනිත වන මූලික පණිවුඩයයි ‍මේ. මෙය සෑම ලාංකිකයෙකුම වෙත පත්විය යුතු පණිවුඩයකි. ජාතික කොඩිය අප මව්බිමේද අපගේ ස්වාධීනත්වයේද අප ජනතාවගේ එක්සත් ‍බවේද සංකේතය වීම ඊට හේතුවයි. එය ජාතියේ අනාගතය සඳහා ඇති අපගේ බලාපොරොත්තු හා පැතුම් පිළිබිඹු කරන සංකේතයකි. 
ජාතික කොඩියත් ඉන් අදහස් කැරෙන්නේ කුමක්ද යන්නත් පිළිබඳන අල එක් එක්කෙනා වඩාත් ගැඹුරු ලෙස සිතා බැලිය යුතුවේ. එවිට ජාතික කොඩිය දකින සෑම විටම අප දෙඋර සෘජු වී අපහස පුබුදු වී අපගේ සිතුම් පැතුම් මව්බිම දෙස යොමු වීම නිරායාසයෙන්ම සිදු විය යුතුයි.
ජාතික කොඩියෙන් මෙලෙස ජනති වන හැඟීම් ඇත්තෝ භාග්‍ය සම්පන්න ශ්‍රී ලාංකිකයෝයි. තමන් මෙසේ අන්‍යයන්ට ද ආදර්ශයක් වීමෙන් ජාතික කොඩිය පිළිබඳ නිවැරැදි ආකල්පයක් පහල කැර ගැනීමට ඔවුන් යොමු කරවීම මෙවැනි ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමයි. 
මීට කලින් අපගේ ජාතික කොඩිය වූයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි. එහි තද රත් පැහැයෙන් යුත් පසුබිමක දකුණතින් කඩුවක් ගත් සිංහයෙක් කහ පැහැයෙන් නිරූපණය විය. කොඩියේ කොන් සතරේ කහ පැහැයෙන් යුත් කොත් (කේතු) හතරක්ද, කොඩිය වටා දිවෙන කහ පැහැති වාටියක්ද ඇත. අපගේ වර්තමාන ජාතික කොඩිය 1978 සැප්තැම්බර් මස 07 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි. මීට කලින් තද රතු පසු බිමෙහි තිබුණු කහ පැහැති සිංහ රූපයඑසේම තබා ඇත. රක්තවර්ණ පසුබිමේ මුළු සතරෙහි කහ පැහැති බෝපත් සතරක් වේ. තැඹිලි සහ කොළ පැහැයෙන් යුත් එකම ප්‍රමාණයේ සිරස් තීරු දෙකකින් සුලු ජන කොටස් නියෝජනය වේ. මෙකී තීරු දෙකේ ප්‍රමාණය කොඩියේ සම්පූර්ණ ප්‍රමාණයට සාපේක්ෂ වශයෙන් බලන විට 1:1:5 යන අනුපාතයෙන් වේ. කොඩිය වටා කහ පැහැති වාටියක් වැටී ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති එස්.එල්.එස් 693:1985 අංක දරන ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පරිවිතරයෙහි අපගේ වර්තමාන ජාතික කොඩිය පිළිබඳ වූ විස්තරාත්මක පිරිවිතරයන් සඳහන් කොට ඇත.

No comments:

Post a Comment