Wednesday, January 30, 2013

ජාතික කොඩිය අනිසි ලෙස භාවිත කිරීම

  • ජාතික කොඩිය කිසිම අවස්ථාවකදී අඳින ඇඳුමක් හෝ ඇඳ ඇතිරිල්ලක් හෝ ආස්තරයක් ලෙස භාවිතා නොකළ යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය/හමුදා අවමංගල්‍යවලදී ආස්තරයක් ලෙස භාවිතා කළ හැකිය. එය කිසිම අවස්ථාවකදී මල්වැලක් ලෙස හෝ රැළිකොට හකුලා හෝ උඩට ඇදීමක් නොකළ යුතු අතර සෑම අවස්ථාවකදීම එය නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය. 
  • ජාතික කොඩිය යම්කිසි ලෙසකින් පහසුවෙන් ඉරීයාමට, කිළිටි වීමට හෝ හානියට පත්වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම, ප්‍රදර්ශනය කිරීම, පාවිච්චි කිරීම හෝ ගබඩා කර තැබීම නොකළ යුතුය.
  • ජාතික කොඩිය කිසිම අවස්ථාවකදී සීලිමකට ආවරණයක් වශයෙන් පාවිච්චි නොකළ යුතුය. 
  • ජනාධිපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට කෙරෙන ජනාධිපති වර්ධ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්, විශේෂ ලාංඡනයක්, අකුරක්, වචනයක්, රූපයක්, මෝස්තරයක්, පින්තූරයක් හෝ කවර ආකාරයේ හෝ චිත්‍රයක් ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය. 
  • ජාතික කොඩිය කිසියම් දෙයක් දැමීම, දමා තබා ගැනීම, ගෙන යාම හෝ ගෙන ගොස් භාරදීම සඳහා උපයෝගී කරගනු ලබන මලලක් හෝ බඳුනක් වශයෙන් කිසිම අවස්ථාවකදී භාවිතා නොකළ යුතුය. 
  • කිසිම ආකාරයක වෙළඳ දැන්වීම් ප්‍රචාරණයක් සඳහා ජාතික කොඩිය කිසිවිටක ප්‍රයෝජනයට නොගත යුතුය. කොට්ට, මෙට්ට, ලේන්සු හා වෙනත් එවැනි භාණ්ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අතපිස්නාවල හෝ පෙට්ටිවල හෝ තාවකාලික පාවිච්චියෙන්පසු ඉවත දමනු පිණිස සකස් කර ඇති යමක හෝ මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාරයකින් සටහන් ගැන්වීම පිණිස ද ජාතික කොඩිය සලකුණු යොදා නොගත යුතුය. ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළෙඳ දැන්වීම් කිසිවක් සවි නොකළ යුතුය. 
  • ජාතික කොඩිය වාහනයක හෝ දුම්රියක හෝ බෝට්ටුවක වහළ, මුදුන, දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය. 
  • ජාතික කොඩියේ කිසිම කොටසක් ඇඳුමක හෝ ක්‍රීඩා ඇඳුමක් වශයෙන් පාවිච්චි නොකළ යුතුයි. එතෙකුදු වුවත් හමුදා, ගිනි නිවන හමුදා හා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කොඩියේ ලාංඡනයක් තබා මසා ගනු ලැබිය හැකිය. කොඩියේ අනුකෘතියක් වන කරපටි ලාංඡනයක් වම් කරපටියේ පැළඳිය යුතුය. 
  • ජාතික කොඩියෙහි නිරූපණයක් අවසර රහිතව පාවිච්චි කිරීම තහනම්ය.
  • ජාතික කොඩිය හානි වූ හෝ විවර්ණ වූ හෝ අපවිත්‍ර වූ තත්ත්වයක පවතී නම් කෞතුක භාණ්ඩ රැස් කරන්නෙකු ළඟ තබා ගැනීම හෝ කෞතුකාගාරයක තැන්පත කර තැබීම හෝ යන අවස්ථාවලදී හැර එය පසෙකට දැමීම හෝ ගරුසරු නොමැති අන්දමකින් විනාශ කර දැමීම නොකළ යුතු අතර පිළිසසීමෙන් හෝ එහි ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් හෝ එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. 


No comments:

Post a Comment