Wednesday, January 30, 2013

වෙනත් ජාතීන්ගේ කොඩි හා එක්සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම‍


  • වෙනත් රටවලට අයත් කොඩි සමග එක පෙළට සිටිනසේ ප්‍රදර්ශනය කරනු ලබන විට ජාතික කොඩිය දකුණු පස අන්තිම කෙළවර ඔසවා තැබිය යුතුය. යම්කිසි නිරීක්ෂකයකු නරඹන්නන්ට මුහුණලා කොඩි පෙළ මධ්‍යයෙහි සිටී නම්, ජාතික කොඩිය ඔහුගේ දකුණු පස අන්තිම කෙළවරෙහි විය යුතුය. අදාළ විදේශීය රටවල් හැඳින්වෙන නම්වල ඉංග්‍රීසි අනුවාදය පදනම් කෙට ගෙන අකාරාදී පිළිවෙළට ජාතික කොඩියේ සිට අනුක්‍රමයෙන් එකී විදේශීය රටවල කොඩි සවිකළ යුතුය. මෙවැනි අවස්ථාවකදී කොඩි පෙළ ජාතික කොඩියෙන් ආරම්භ කර ඉන අවසන් කරනු ලැබීමටද එමෙන්ම ජාතික කොඩිය රටවල සාමාන්‍ය අකාරාදී ක්‍රමයට ඇතුළත් කිරීමටද ඉඩදිය හැකිය. ජාතික කොඩිය පළමුවෙන් ඔසවා අන්තිමට පහත් කළ යුතුය. 
  • විවෘත වක්‍රයක ආකාරයෙන් (එනම් කවකයක කොටසක හෝ අඩ කවයක ස්වරූපයයෙන්) කොඩි ඔසවා තැබීමට සිදුවන අවස්ථාවන්හිදී මේ කොටසේ මුලින්ම ඇති උප ජේදයෙහි සඳහන් වන ක්‍රියාමාර්ගම අනුගමනය කළ යුතුයි. සංවෘත චක්‍රයක එනම් සම්පූර්ණ චක්‍රයක හැඩයට කොඩි ඔසවා තැබීමට සිදුවන අවස්ථාවන්හිදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ විය යුතු අතර අවසානයට ඇති කොඩිය ජාතික කොඩිය ළඳට සිටින සේ පිහිටන තුරු සෙසු රටවල කොඩි වමේ සිට දකුණට එකකට එකක් ඉදිරියෙන් පිහිටුවිය යුතුයි. කොඩි කවයේ ආරම්භ වන සහ අවසාන වන ස්ථාන සලකුණු කිරීම සඳහා වෙන වෙනම ජාතික කොඩි පාවිච්චි කිරීම අවශ්‍ය නැත. මෙවැනි සංවෘත චක්‍රයකදී එහි එන අකාරාදී ක්‍රමයට තුළට ද ජාතික කොඩිය ඇතුළත් විය යුතුය. 
  • කොඩි කඳන් එකිනෙකට හරස්ව සිටින සේ වෙනත් කොඩියක් සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කරනු ලබන විට ජාතික කොඩිය දකුණු පසින් එනම් අනික් කොඩියේ දකුණු පසින් තිබිය යුතු අතර, එහි කොඩි කඳ අනෙක් කොඩියේ කොඩි කඳට ඉදිරියෙන් තිබිය යුතුය. 
  • එක්සත් ජාතීන්ගේ කොඩිය ජාතික කොඩිය සමග ඔසවනු ලබන විට එය ජාතික කොඩියට වමෙන් හෝ දකුණෙන් සිටින සේ ප්‍රදර්ශනය කරනු ලැබිය හැකිය. සාමාන්‍ය සිරිත වනුයේ ජාතික කොඩිය, එය මුහුණලා ඇති දිසාවට හරියටම දකුණු පසින් එසවීමයි. (එනම් කොඩිය ඔසවා ඇති කොඩි ගස්වලට මුහුණලා සිටින යම් නිරීක්ෂකයකුගේ හරියටම වම් පසිනි. )
  • එකම කොඩි ගසක් මුහුනෙහි එක්වරට වෙනත් යම් කොඩියක් හෝ කොඩි හෝ සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය. එම කොඩි සඳහා වෙන වෙනම කොඩි ගස් තිබිය යුතුය. 
  • සම්භාවනීය විදේශීය අමුත්තකුගේ පැමිණීම වැනි රජය විසින් නිශ්චිත කොට දක්වනු ලබන අවස්ථාවන්හිදී කඩදාසිවලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් තනන ලද ජාතික කොඩි ද අනෙක් රටෙහි එබඳු කොඩිද මහජනයා විසින් ළෙල දෙවනු ලැබිය හැකිය. පාවිච්චි කිරීමෙන් අනතුරුව ඒවා නිසි පරිදි අපහරණය කරනු ලැබිය යුතුය. 
  • විදේශීය ආණ්ඩුවල රාජ්‍ය තාන්ත්‍රිකසහ තානාපති නියෝජිතයන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්කෘතික සංදර්ශන, ප්‍රදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපටි උත්සව ආදී අවස්ථාවන්හිදී ජාතික කොඩිය සහ වෙනත් රටවල කොඩි රජයේ අවසරය ඇතිව ප්‍රදර්ශනය කරනු ලැබිය හැකිය. 
  • ශ්‍රී ලංකා ජාතික දිනයන්හිදී හෝ ස්වකීය රටෙහි ජාතික දිනයන්හිදී ද විදේශිකයකු විසින් හෝ විදේශීය ආයතනයක් විසින් හෝ ඔහුගේ/එම ආයතනයේ අයත් රටෙහි කොඩිය සමග ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මින් පෙර සඳහා කරන ලද ක්‍රියා මාර්ගයට අනුකූලව ඔසවනු ලැබිය හැකිය.


No comments:

Post a Comment