Wednesday, January 30, 2013

උත්සවයන්හිදී ජාතික කොඩිය එසවීම


  • එසවීමට පෙර ජාතික කොඩිය එහි යොතට සවිකර අකුලා උස් ස්ථානයක තැබිය යුතුය; නැතහොත් කෙනෙක විසින් අතින් ඔසවා ගෙන සිටිය යුතුය. (ජාතික කොඩිය කිසිම අවස්ථාවක දී බිම නොතැබිය යුතුය.)
  • කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස එහි සැලෙන පැත්තෙන් නොවේ. එහෙයින් ජාතික කොඩිය නූලකින් එල්ලීම අනුචිතය. කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව තිබිය යුතුය. නැතහොත් ගොඩනැගිල්ලක සිට රිටක් මගින් මාවතක් හෝ මිදුලක් දෙසට හරවා එල්ලන විටක මෙන් කෝණාකාරව තිබිය යුතු වේ.
  • උත්සවයේ ප්‍රධාන අමුත්තා සීරුවෙන් ජාතික කොඩිය එසවිය යුතුය. එම මංගල අවස්ථාවේ දී සියලු දෙනාම නැගිට සීරුවෙන් කොඩියට මුහුණදී සිටිය යුතු අතර දුම්බීම, ආහාරපාන ගැනීම, කතාබස් කිරීම, සිනාසීම හෝ උත්සවයේ ගෞරවයට හානිවන ආකාරයට ක්‍රියා කිරීම යන මේ කිසිවක් නොකළ යුතුය. හමුදා සේවා නිල ඇඳුමින් සැරසුණු අය අදාළ සේවා නියෝගවලින් නියමිත ආකාරයට කොඩියට ආචාර කළ යුතුය. 
  • මෙවැනි උත්සවයකදී හැකි සෑම විටම චාරිත්‍රානුකූලව මඟුල් බෙර වාදනය හා ශංඛ නාද පැවැත්වීම කළ යුතු වේ. අන් කිසි සංගීතයක් වාදනය නොකළ යුතුය. 
  • ජාතික කොඩිය ඔසවනු ලැබූ විගස වාදන ගායන මණ්ඩලයක් විසින් ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය. රැස්ව සිටින සියලු දෙනා එම ගායනයට සහභාගි වෙතොත් වඩාත් සුදුසුය. විජාතිකයන් ගායනයට සහභාගි වීමක් අපේක්ෂා නොකෙරෙතත්, ගෞරව දැක්වීමක් වශයෙන් ඔවුන් නැගී සිටිය යුතුය.
  • ජාතික කොඩිය ඔසවා ජාතික ගීය වාදනය හෝ ගායනය කරනු ලබන අවස්ථාවේදී හමුදා සේවා නිල ඇඳුමින් සැරසුණු අය හැර රැස්ව සිටින අන්හැම දෙනාම කොඩියට මුහුණලා සීරුවෙන් සිටගත යුතුය. හමුදා සේවා නිල ඇඳුහින් සැරසී නොසිටින, හිස් වැසුම් පැලඳ සිටින එමෙන්ම ආචාර නොකරන, සාමාන්‍ය අය සිය හිස්වැසුම් ඉවත් කළ යුතුය.

No comments:

Post a Comment