Monday, February 4, 2013

ජාතික කොඩියේ පණිවුඩය සහ එහි වැදගත්කම


ජාතික කොඩියට ගරු කරන්න. ඉන් ඔබ ඔද වැඩී යනු ඇත. ජාතික කොඩියෙන් ද්වනිත වන මූලික පණිවුඩයයි ‍මේ. මෙය සෑම ලාංකිකයෙකුම වෙත පත්විය යුතු පණිවුඩයකි. ජාතික කොඩිය අප මව්බිමේද අපගේ ස්වාධීනත්වයේද අප ජනතාවගේ එක්සත් ‍බවේද සංකේතය වීම ඊට හේතුවයි. එය ජාතියේ අනාගතය සඳහා ඇති අපගේ බලාපොරොත්තු හා පැතුම් පිළිබිඹු කරන සංකේතයකි. 
ජාතික කොඩියත් ඉන් අදහස් කැරෙන්නේ කුමක්ද යන්නත් පිළිබඳන අල එක් එක්කෙනා වඩාත් ගැඹුරු ලෙස සිතා බැලිය යුතුවේ. එවිට ජාතික කොඩිය දකින සෑම විටම අප දෙඋර සෘජු වී අපහස පුබුදු වී අපගේ සිතුම් පැතුම් මව්බිම දෙස යොමු වීම නිරායාසයෙන්ම සිදු විය යුතුයි.
ජාතික කොඩියෙන් මෙලෙස ජනති වන හැඟීම් ඇත්තෝ භාග්‍ය සම්පන්න ශ්‍රී ලාංකිකයෝයි. තමන් මෙසේ අන්‍යයන්ට ද ආදර්ශයක් වීමෙන් ජාතික කොඩිය පිළිබඳ නිවැරැදි ආකල්පයක් පහල කැර ගැනීමට ඔවුන් යොමු කරවීම මෙවැනි ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමයි. 
මීට කලින් අපගේ ජාතික කොඩිය වූයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි. එහි තද රත් පැහැයෙන් යුත් පසුබිමක දකුණතින් කඩුවක් ගත් සිංහයෙක් කහ පැහැයෙන් නිරූපණය විය. කොඩියේ කොන් සතරේ කහ පැහැයෙන් යුත් කොත් (කේතු) හතරක්ද, කොඩිය වටා දිවෙන කහ පැහැති වාටියක්ද ඇත. අපගේ වර්තමාන ජාතික කොඩිය 1978 සැප්තැම්බර් මස 07 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි. මීට කලින් තද රතු පසු බිමෙහි තිබුණු කහ පැහැති සිංහ රූපයඑසේම තබා ඇත. රක්තවර්ණ පසුබිමේ මුළු සතරෙහි කහ පැහැති බෝපත් සතරක් වේ. තැඹිලි සහ කොළ පැහැයෙන් යුත් එකම ප්‍රමාණයේ සිරස් තීරු දෙකකින් සුලු ජන කොටස් නියෝජනය වේ. මෙකී තීරු දෙකේ ප්‍රමාණය කොඩියේ සම්පූර්ණ ප්‍රමාණයට සාපේක්ෂ වශයෙන් බලන විට 1:1:5 යන අනුපාතයෙන් වේ. කොඩිය වටා කහ පැහැති වාටියක් වැටී ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති එස්.එල්.එස් 693:1985 අංක දරන ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පරිවිතරයෙහි අපගේ වර්තමාන ජාතික කොඩිය පිළිබඳ වූ විස්තරාත්මක පිරිවිතරයන් සඳහන් කොට ඇත.

Friday, February 1, 2013

ජාතික කෙඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථා

පහත දැක්වෙන අවස්ථාවන්හිදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතුය.
  • ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට ත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් එවැනි වෙනත් දිනයන්හිදී.
  • සියලුම රාජ්‍ය උත්සවයන්හිදී.
එළිමහනකදී ජාතික කොඩිය එසැවීම
  • ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන කවර අවස්ථාවකද වුවද එයට ඉහළම ගෞරවනීය ස්ථානය දියයුතු අතර, එය පැහැදිළිව පෙනෙන ස්ථානයක සවිකර තැබිය යුතුය. 
  • විදේශීය රාජ්‍ය නායකයකු මෙරටට පැමිණි අවස්ථාවකදී ඔහුගේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විට ශ්‍රී ලංකා ජාතික කොඩිය ද ප්‍රදර්ශනය කළ යුතුය.
  • සෑම අවස්ථාවකදීම ජාතික කොඩිය එසවීමේ කාර්යය ද එය පහත් කිරීමද සෙමින් හා ගෞරවාන්විතව කළ යුතුයි. 
  • ජාතික කොඩිය ඔසවා තැබිය යුත්තේ එහි සිරස් තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදියි.
  • සෑම උත්සවයකදීම ජාතික ධජයට ප්‍රමුඛතම ස්ථානයක් දියයුතුය. වෙනත් කිසිම කොඩියක් ඊට ඉහලින් ඔසවා නොතැබිය යුතුය. වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තබන්නේ නම් ඒවා ජාතික කොඩි ගසට සමාන උසන්ම සිටින සේ ඔසවා තැබිය යුතුවාත් හැර එම කොඩි ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින් තිබිය යුතුය. කොඩි සියල්ල ප්‍රමාණයෙන් දළ වශයෙන් සමාන වියයුතු අතර ජාතික කොඩියට වඩා විශාල නොවිය යුතුයි. සාමකාමී සමයකදී එක් රටක ජාතික කොඩියක් වෙනත් රටක ජාතික කොඩියකට වඩා ඉහළින් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර ව්‍යවහාරයට අනුව තහනම් වේ. 
  • රාත්‍රී කා‍ලයකදී වුවත් ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තැබිය හැකිය. එහෙත් එසේ කළ යුත්තේ ඉතා විශේෂ අවස්ථාවන්හිදී පමණය. එබඳු සෑම අවස්ථාවකදීම කොඩිය ඔසවා තබන තාක්කල් එය විදුලි ධාරා ආලෝකයෙන් ආලෝකමත් කළ යුතුය. 
  • ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේ ජාතික කොඩිය හා සමාන උසට සිටින පරිදිය. 
  • ප්‍රාදේශික කොඩි හෝ සමිති, පාසල්, සංගම් ආදියෙහි ධජ පතාක ආදිය ද සමග සාමූහික වශයෙන් ජාතික කොඩිය ද ඔසවන අවස්ථාවන්හිදී ජාතික කොඩිය සියල්ලටම මැදින් එහි ඉහළම ස්ථානයේ ඔසවා තැබිය යුතුය. 
  • පළාත්වල කොඩි, පාසල් ආදියෙහි ධජ පතාක සමග ජාතික කොඩිය ද කොඩි ගසක එකම යොතක එල්ලනු ලබන විට ජතික කොඩිය ඔසවා තැබිය යුත්තේ ඒ සියල්ලටම ඉහළින් සිටින පරිද්දෙනි.
  • එකිනෙකට යාව පිහිටි කොඩි ගස් කිහිපයක කොඩි එල්ලනු ලබන විට මුලින්ම එසවිය යුත්තේත් අවසානයටම පහත් කළ යුත්තේත් ජාතික කොඩියයි.
  • ගොඩනැගිල්ලක ජනෙල් පඩියකින් හෝ සඳළුතලයකින් හොෝඉදිරිපසින් පිටතට නෙරා සිටින සේ සවි කළ කොඩි ගසක ජාතික කොඩිය ඔසවතොත් එය අඩකුඹ කළ යුතු අවස්ථාවකදී හැර කොඩිය ඒ කණුවේ මුදුනෙන්ම එල්ලිය යුතුයි. තවද එම කණුව තිරස් අතට නොව අංශක 45ක කෝණයක් ඇති වන පරිදි සවි කළ යුතුවේ. 
  • වීදියක මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන අවස්ථාවන්හිදී සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස් අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය. 
  • ජාතික ශෝක දිනයන්හිදී ජාතික‍ කොඩිය අඩකුඹ කර තැබිය යුතුය. අඩකුඹ කිරීමේදී කළ යුත්තේ මුලින්ම කොඩිය මොහොතකට කොඩි ගසෙහි ඉහළට ඔසවා තබා යලි අඩකුඹ කර තැබෙන ස්ථානය දක්වා පහත් කිරීමය. එහෙත් දවස අවසානයේ ජාතික කොඩිය පහත් කිරීමට පෙර එය නැවතත් මුදුනටම එසවිය යුතුයි. කොඩිය අඩකුඹ කර තැබිය යුතු අවස්ථාවලදී කොඩි ගසේ මුදුනේ සිට මනින විට 1/3ක උස ප්‍රමාණයක් එහ පහත් කළ යුතුයි. ජාතික කොඩිය අඩකුඹ කළ යුත්තේ කිනම් අවස්ථාවන්හිදී ද යන්න රජය විසින් තීරණය කරනු ලබනු ඇත. 
  • ජාතික කොඩිය ඔසවනු ලබන විට කාලගුණ තත්ත්වය කුමක් වුවද ඉරිදා දින හා නිවාඩු දින ඇතුළුව සෑම දිනකම, හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා එය එකම ස්ථානයක ඔසවා තැබිය යුතුය.
  • ජාතික කොඩිය කථික වේදිකාවක් මත ඔසවා තබනු ලබන අවස්ථාවන්හිදී කථිකයා සභාවට මුහුණදුන් විට ඔහුගේ දකුණින් තිබෙන පරිදි එය කොඩි ගසක මුදුනේ ඔසවා තැබිය යුතුය. එසේ නැතහොත් කථිකයාට පිටුපසින් වූ බිත්තියට හේත්තු වන සේ ඔහුට ඉහළින් ඔසවා තැබිය යුතුය. 

Thursday, January 31, 2013

පෙරහැරවලදී ජාතික කොඩිය ගෙනයා යුතු ආකාරය

ජාතික කොඩිය කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතුය. සෑම අවස්ථාවකදීම එහි යෂ්ඨිය සෘජුව සිටින සේත්, එය කිසිවක නොපැටලී අසම්බාධිතව සිටින සේත් ගෙන යා යුතුය.
ජාතික කොඩිය වෙනත් කොඩියක් සමග පෙරහැර ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. වෙනත් වර්ගයේ කොඩි පෙළක් ද ඇත්නම් එම කොඩි පෙළේ මැද ඉදිරියෙන් ජාතික කොඩිය ගෙන යා යුතුයි.
කිසිවක් හෝ කිසිවකු හෝ වෙනුවෙන් ජාතික කොඩිය මඳ වශයෙන් පහත් කිරීම නොකළ යුතුයි. සම්මාන දක්වීම් වශයෙන් සේනාංක වර්ණ, පාසල්වල, සංවිධානවල හා ආයතනවල කොඩි එසේ මඳ වශයෙන් පහත් කෙරෙන නමුත් ජාතික කොඩිය එසේ පහත් කරනු නොලැබේ.

Wednesday, January 30, 2013

උත්සවයන්හිදී ජාතික කොඩිය එසවීම


  • එසවීමට පෙර ජාතික කොඩිය එහි යොතට සවිකර අකුලා උස් ස්ථානයක තැබිය යුතුය; නැතහොත් කෙනෙක විසින් අතින් ඔසවා ගෙන සිටිය යුතුය. (ජාතික කොඩිය කිසිම අවස්ථාවක දී බිම නොතැබිය යුතුය.)
  • කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස එහි සැලෙන පැත්තෙන් නොවේ. එහෙයින් ජාතික කොඩිය නූලකින් එල්ලීම අනුචිතය. කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව තිබිය යුතුය. නැතහොත් ගොඩනැගිල්ලක සිට රිටක් මගින් මාවතක් හෝ මිදුලක් දෙසට හරවා එල්ලන විටක මෙන් කෝණාකාරව තිබිය යුතු වේ.
  • උත්සවයේ ප්‍රධාන අමුත්තා සීරුවෙන් ජාතික කොඩිය එසවිය යුතුය. එම මංගල අවස්ථාවේ දී සියලු දෙනාම නැගිට සීරුවෙන් කොඩියට මුහුණදී සිටිය යුතු අතර දුම්බීම, ආහාරපාන ගැනීම, කතාබස් කිරීම, සිනාසීම හෝ උත්සවයේ ගෞරවයට හානිවන ආකාරයට ක්‍රියා කිරීම යන මේ කිසිවක් නොකළ යුතුය. හමුදා සේවා නිල ඇඳුමින් සැරසුණු අය අදාළ සේවා නියෝගවලින් නියමිත ආකාරයට කොඩියට ආචාර කළ යුතුය. 
  • මෙවැනි උත්සවයකදී හැකි සෑම විටම චාරිත්‍රානුකූලව මඟුල් බෙර වාදනය හා ශංඛ නාද පැවැත්වීම කළ යුතු වේ. අන් කිසි සංගීතයක් වාදනය නොකළ යුතුය. 
  • ජාතික කොඩිය ඔසවනු ලැබූ විගස වාදන ගායන මණ්ඩලයක් විසින් ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය. රැස්ව සිටින සියලු දෙනා එම ගායනයට සහභාගි වෙතොත් වඩාත් සුදුසුය. විජාතිකයන් ගායනයට සහභාගි වීමක් අපේක්ෂා නොකෙරෙතත්, ගෞරව දැක්වීමක් වශයෙන් ඔවුන් නැගී සිටිය යුතුය.
  • ජාතික කොඩිය ඔසවා ජාතික ගීය වාදනය හෝ ගායනය කරනු ලබන අවස්ථාවේදී හමුදා සේවා නිල ඇඳුමින් සැරසුණු අය හැර රැස්ව සිටින අන්හැම දෙනාම කොඩියට මුහුණලා සීරුවෙන් සිටගත යුතුය. හමුදා සේවා නිල ඇඳුහින් සැරසී නොසිටින, හිස් වැසුම් පැලඳ සිටින එමෙන්ම ආචාර නොකරන, සාමාන්‍ය අය සිය හිස්වැසුම් ඉවත් කළ යුතුය.

කොඩියේ සැලැස්ම දිග පළල ප්‍රමාණය හා වර්ණ

ප්‍රදර්ශනයට යොදා ගනු ලබන ජාතික කොඩිය, එහි සැලැස්ම, දිග, පළල ප්‍රමාණය හා වර්ණ සම්බන්ධයෙන් එස්.එල්.එස්. 693:1985 අංක දරණ ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වූ ශ්‍රි ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු වේ. 

ජාතික කොඩිය වැරදි අයුරින් ප්‍රදර්ශනය කිරීම


  • හානියට පත් වූ හෝ අවලක්ෂණ වූ හෝ විවර්ණ වූ හෝ ජාතික කොඩියක් ප්‍රදර්ශනය නොකළ යුතුය.
  • ජාතික කොඩිය කිසිවෙකුට හෝ කිසි දෙයකට ආචාර කිරීම සඳහා මද වශයනේ පහත් නොකළ යුතුය. 
  • ජාතික කොඩියට ඉහළින් හෝ මෙහි මින් මතු අවසර දී ඇති අයුරින් හැර, ජාතික කොඩිය සමග අන් කිසිදු කොඩියක් හෝ ධජ පතාක, කෙහෙළි ආදී සැරසිලි, කොඩිවැල් හෝ එක පෙළට සටින සේ ඔසවා නොතැබිය යුතුය. තවද මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්ද ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගස මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය. 
  • ජාතික කොඩිය මල්වැල්, ලියවැල්, පීත්ත පටි මල් හෝ සැරසිලි ධජ පතාක ආදී වශයෙන් හෝ වෙනත් කිසියම් ආකාරයකින් සැරසිල්ලක් වශයෙන් භාවිතා කිරීම හෝ ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙළ කර තැබීමට හෝ නොකළ යුතුය. 
  • කථිකයකුගේ මේසයක් ආවරණය කිරීම පිණිස හෝ කථික වේදිකාවක් මින් රැළි දා පහතට වැටෙන සේ ආවරණය කිරීම පිණිස හෝ ජාතික කොඩිය පාවිච්චි නොකළ යුතුය. 
  • කිසිම අවස්ථාවකදී ජාතික කොඩිය සිංහයා උඩු යටිකුරු කොට එය ප්‍රදර්ශනය නොකළ යුතුය. 
  • ජාතික කොඩිය පොළොව හෝ බිම හෝ ස්පර්ශවීමට හෝ ජලය මත ඇදීගෙන යෑමට හෝ ඉඩ නොතැබිය යුතුය.
  • ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබීම හෝ සවිකර තැබීම හෝ නොකළ යුතුය. 
  • ජාතික කොඩිය පෙලපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක සවිකර විනා එය වෙනත් අන්දමකින් ගෙන යා යුතුනොවේ. 


ජාතික කොඩිය අනිසි ලෙස භාවිත කිරීම

  • ජාතික කොඩිය කිසිම අවස්ථාවකදී අඳින ඇඳුමක් හෝ ඇඳ ඇතිරිල්ලක් හෝ ආස්තරයක් ලෙස භාවිතා නොකළ යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය/හමුදා අවමංගල්‍යවලදී ආස්තරයක් ලෙස භාවිතා කළ හැකිය. එය කිසිම අවස්ථාවකදී මල්වැලක් ලෙස හෝ රැළිකොට හකුලා හෝ උඩට ඇදීමක් නොකළ යුතු අතර සෑම අවස්ථාවකදීම එය නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය. 
  • ජාතික කොඩිය යම්කිසි ලෙසකින් පහසුවෙන් ඉරීයාමට, කිළිටි වීමට හෝ හානියට පත්වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම, ප්‍රදර්ශනය කිරීම, පාවිච්චි කිරීම හෝ ගබඩා කර තැබීම නොකළ යුතුය.
  • ජාතික කොඩිය කිසිම අවස්ථාවකදී සීලිමකට ආවරණයක් වශයෙන් පාවිච්චි නොකළ යුතුය. 
  • ජනාධිපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට කෙරෙන ජනාධිපති වර්ධ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්, විශේෂ ලාංඡනයක්, අකුරක්, වචනයක්, රූපයක්, මෝස්තරයක්, පින්තූරයක් හෝ කවර ආකාරයේ හෝ චිත්‍රයක් ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය. 
  • ජාතික කොඩිය කිසියම් දෙයක් දැමීම, දමා තබා ගැනීම, ගෙන යාම හෝ ගෙන ගොස් භාරදීම සඳහා උපයෝගී කරගනු ලබන මලලක් හෝ බඳුනක් වශයෙන් කිසිම අවස්ථාවකදී භාවිතා නොකළ යුතුය. 
  • කිසිම ආකාරයක වෙළඳ දැන්වීම් ප්‍රචාරණයක් සඳහා ජාතික කොඩිය කිසිවිටක ප්‍රයෝජනයට නොගත යුතුය. කොට්ට, මෙට්ට, ලේන්සු හා වෙනත් එවැනි භාණ්ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අතපිස්නාවල හෝ පෙට්ටිවල හෝ තාවකාලික පාවිච්චියෙන්පසු ඉවත දමනු පිණිස සකස් කර ඇති යමක හෝ මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාරයකින් සටහන් ගැන්වීම පිණිස ද ජාතික කොඩිය සලකුණු යොදා නොගත යුතුය. ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළෙඳ දැන්වීම් කිසිවක් සවි නොකළ යුතුය. 
  • ජාතික කොඩිය වාහනයක හෝ දුම්රියක හෝ බෝට්ටුවක වහළ, මුදුන, දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය. 
  • ජාතික කොඩියේ කිසිම කොටසක් ඇඳුමක හෝ ක්‍රීඩා ඇඳුමක් වශයෙන් පාවිච්චි නොකළ යුතුයි. එතෙකුදු වුවත් හමුදා, ගිනි නිවන හමුදා හා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කොඩියේ ලාංඡනයක් තබා මසා ගනු ලැබිය හැකිය. කොඩියේ අනුකෘතියක් වන කරපටි ලාංඡනයක් වම් කරපටියේ පැළඳිය යුතුය. 
  • ජාතික කොඩියෙහි නිරූපණයක් අවසර රහිතව පාවිච්චි කිරීම තහනම්ය.
  • ජාතික කොඩිය හානි වූ හෝ විවර්ණ වූ හෝ අපවිත්‍ර වූ තත්ත්වයක පවතී නම් කෞතුක භාණ්ඩ රැස් කරන්නෙකු ළඟ තබා ගැනීම හෝ කෞතුකාගාරයක තැන්පත කර තැබීම හෝ යන අවස්ථාවලදී හැර එය පසෙකට දැමීම හෝ ගරුසරු නොමැති අන්දමකින් විනාශ කර දැමීම නොකළ යුතු අතර පිළිසසීමෙන් හෝ එහි ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් හෝ එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය.